සරණාගත ගැළවුම්කාරයා සමඟ 2021 පාස්කුව!

 


මේ බ්‍රහස්පතින්දාව අනෙක් බ්‍රහස්පතින්දාවන් වලින් වෙනස් වන්නේ කෙසේදැයි මම මගෙන් අසමි! සෑම සතියකම එක් වතාවක් අපට බ්‍රහස්පතින්දාවක් මුණගැහේ. සුපුරුදු පැරණි මිතුරෙකු සේ ඒ සෑම වාරයකම බ්‍රහස්පතින්දා අප වෙත පැමිණ, පුරා පැය විසිහතරක් අප හා සමඟ හිඳ නික්ම යයි.  එහෙත් මේ බ්‍රහස්පතින්දාව, එනම් 2021 අප්‍රේල් පළමුවෙනිදා අප හමුවට ආ බ්‍රහස්පතින්දාව අප සමඟ මදක් වැඩියෙන් නතරව ඇති බවක් හැඟේ. 

පාස්කුවට අදාළ දේවධර්මයත් ජනවන්දනාවත් සියල්ල අර්ථ විරහිතව යන්නේ වෙන කිසිවක් නිසා නොව, මේ සවස්වරු බෙදාගන්නට මිනිසුන් අප හා සමඟ නොමැති වූ විට බව මම දනිමි. මේ බ්‍රහස්පතින්දාවේ හද පාරන මුල්ම සිතිවිල්ල වූයේ මගේ මිනිසුන් යනුවෙන් මා දන්නා අය මා අසළ නොසිටීමයි. අම්මා, මල්ලි හා සමඟ මහ බ්‍රහස්පතින්දාවන් 25ක් මම ගෙවා ඇත්තෙමි. නිරාහාර ශීලය රැකීම සහ ගොඩමස් අනුභවයෙන් වැළකීම වැනි කාරණා අරභයා අප අතර ඇතිවන විවාද, නිසි වේලාවට නිවසින් පිටව පල්ලියට යෑම, මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවෙන් පසු පැවැත්වෙන නීරස ශුද්ධවූ පැයවලට සහභාගී වීම යනාදී කාරණා අරභයා අප අතර හටගන්නා විවාද සහ ආරවුල් මේ වසරේ මට ලැබෙන්නේ නැතිය. එහි අඩුව මෙතරම් තදින් දැනීම අපූරුය. විකාර සහගතය. විහිළු සහගතය. ජීවිතය එහෙමය. නාසරතයෙ තරුණයා සමහර පාඩම් කියාදෙන්නේ එහෙමය. වෙනත් වටයකිනි. 

මේ දින ත්‍රීත්වයේ කතාවෙන් කොටසක් බ්ලොග් ලිපියකින් මම කියවූයෙමි. එය ලියා තිබුණේ අපරාධ යුක්තිය උගන්වන ජෝන් ජේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක්වන නීතීඥ, මේසී ස්මිත් විසිනි. ජේසුස්වහන්සේ තනිකම පිළිබඳව දැන සිටි බව ඇය ලියා තිබේ. විශාල සැමරීමක් රහිතව සිදු වූ ගවහලක උපත, ඉන්පසු සරණාගතයෙකු ලෙස ඊජිප්තුවේ ගෙවූ ජීවිතය ජේසුගෙ කුඩාවියේ තනිකම පිළිබඳව සාක්ෂි බව මේසී විසින් ලියා තිබේ. ඉන්පසු නාසරතයේ ජීවිතය, ප්‍රශ්නකාරී තරුණ විය, තම අනන්‍යතාව සොයාගැනීම පිළිබඳව ඔහුට තිබූ අරගලය අපට මුණ ගැසේ. ඔහු තම අරගලයේ එක් අවස්ථාවක සියල්ල අත හැර කාන්තාරයේ දින 40ක් ගත කිරීම සහ එහිදී විඳි තනිකමේ අරගලය අපට මඟ නොහැරේ. තම මිතුරන් හා සමඟ ඇවිදිමින් ගෙවූ වසර තුනද, අවසන් රැයද ඔහුගේ තනිකමේ වේදනාවේ සාක්ෂි ලෙස අපට හමු වේ. මඟ හැර යා නොහැකි තරම් ගැඹුරින් ඔහු තනිකම හා සමඟ සමබ්න්ධවී සිටි බව දැන ගැනීම එක් පසෙකින් වේදනාවක්ද අනෙක් පසින් සහනයක්ද මා තුළ ඇති කරනු ලබයි. 

මගේ මිතුරා, මගේ දයාබර මිතුරා තනිකම දැන සිටි, ඉන් පීඩා විඳි, උදව් ඉල්ලා සිටි මිනිසෙකු බව දැන ගැනීම සතුටු විය හැකි කරුණක් නොවන්නේ මන්ද? එක් දිනෙක ජය නාද මැද මහා ජෙරුසලම් නගරයට ඇතුල් වූ මිනිසා ඉන් නුදුරේම පැමිණි දිනකදී අපරාධකරුවෙකු, කැරළිකරුවෙකු සහ දේව අපහසකරුවෙකු ලෙසට චෝදනා ලබා රෝම සොල්දාදුවන්ගේ ග්‍රහණයට යටත්ව නැවත ජෙරුසලමේ වීදී අතරට පැමිණේ. මරා දැමීමට නියමිත බැටළුවාව මස් කිරීමට වඩාත් සුදුසු ලෑල්ල සොයා එහෙ මෙහෙ දිවයන මස් මරන්නන් රැළක් මෙන් පරිසිවරුන් සහ නිළධාරීන් මේ තිස්තුන් වියැති තරුණයාව මරා දැමීමට වඩාත් සාර්ථකම නඩු විභාගය පැවැත්විය හැකි නිළධාරියා සොයමින් එහා මෙහා දිව යයි. 

2021 වසර මේ කලබලය, බිය සහ වේදනාව වඩාත් පැහැදිළි වීඩියෝපට සහිතව ජීවමාන කෙරූ වසරකි. දැන් සති කිහිපයක් තිස්සේ දිනපතා මියන්මාරයේ ත්‍රස්තවාදී හමුදා පාලනයට යටත්ව වද විඳ, වෙඩි කා මිය යන මියන්මාර වැසියන්ගේ ඡායාරූප , වීඩියෝ පට මේ චතාරිකය වඩාත් තාත්වික අත්දැකීමක් බවට පත් කොට තිබේ. අද උදෑසන ලෝක ජනමාධ්‍යවලට එක් වූයේ දිවි ගලවාගැනීමට මියන්මාරයෙන් පැනවිත් ඉන්දියානු දේශ සීමාවලට ඇතුල් වීමට උත්සහ කරනු ලබන ගැහැණුන් සහ කුඩා දරුවන් කිහිපදෙනෙකු ඉන්දීය හමුදා විසින් ආපසු හැරී යාමට නියෝග දෙන ආකාරයයි. වියරු වැටුණු රජෙකුගෙන් දිවි ගලවා ගැනීමට ජුදාව අතැර ඊජිප්තුවට පලා ගිය මරියා, ජුසේ සහ ජේසු මේ මියන්මාර මිනිසුන් අතරද නොසිටි බව අපි දැනගන්නේ කෙසේද? 

ලොව පුරා විසිරී සිටින ක්‍රිස්තියානීන් අදහන්නේ සරණාගත ඉතිහාසයක් සහිත මිනිසෙකු බව අපි අමතක කරන්නේ කෙලෙසකද? 

තම රාජ්‍ය බලය භාවිතා කරමින් හමුදා පාලනයක් යොදා ගනිමින් මිනිසුන් තලා පෙලා දැමූ නායකයෙකුගෙන් සැඟවෙමින් ගෙවූ දිවියක් මරියා, ජුසේ සහ ජේසු හට හිමිව තිබූ බව අප අමතක කරන්නේ කෙසේද? පොලිස් නිළධාරීන් උඩ පැන මිනිසුන්ගෙ බෙලි පාගා දමන විටත්, රාජ්‍ය ඇමතිවරු කසිප්පු පෙරීම නීතිගත කිරීමට වෙහෙස වෙනයුරු දකින විටත්, අතුරුදහන් වූ ලක්ෂයකට අධික මිනිස් ජීවිත ප්‍රමාණයක් වෙනුවෙන් දින 1500 නොකඩවා මහ මඟට වී සිටි මව්වරුන්ව නොසලකා හරින විටත්, ක්ෂුද්‍ර මූල්‍ය ණය වංචාවන්ට එරෙහි මව්වරුන්ගේ උපවාසයන් නොසලකා හැරෙන විටත්, ස්වාභාවික රක්ෂිත කපා එළිකොට රට සංවර්ධනය කිරීමට උත්සහ කරන බව පාලකයන් අපට පවසන විටත්, ඒ සියල්ල අතරේ නාසරතයේ තරුණයාව සමීකරණයෙන් අප ඉවත් කරන්නේ කෙලෙසද? 

මුහුදුබඩ දේවස්ථානයක අල්තාරය ඉදිරිපිටට වී නිදිමතේ වැනෙමින් සත්ප්‍රසාදයේ ජේසු දිහා බලමින් ආපසු ගෙදර යන්නේ කීයට දැයි සිතමින් ඉන්නට පුරුදුව සිටි මහ බ්‍රහස්පතින්දාවන් ගණනාවකට පසු, මම විවිධ ජාතීන්ට අයත් එහෙත් එකම විශ්වාසයක් දරාගත් පිරිමින් සහ ගැහැණුන් කණ්ඩායමක් සමඟ මේ රැයේ දිව්‍ය සත්ප්‍රසාදයට සහ අත්ලාන්තික් සාගරයට මැදිව ලෝකය දෙස බලමින් හිඳිමි. මට පසෙකින් බෙත්ලෙහෙමේ උපත ලැබ එහිම දිවි ගෙවූ මා මිතුරිය අසුන්ගෙන සිටී. නාසරතයේ තරුණයා පිළිබඳව සුදු ජාතික පූජකවරු දේශනා කරනයු'රු අසමින් සිනහසෙමින්, " මේ මිනිස්සු මොනාද මේ කියන්නෙ" කියා අසමින් ඇය අප දෙස බලයි. මගේ අනෙක් පසින් සිටින්නේ මගේ දකුණු අප්‍රිකානු මිතුරාය. " මිනිස්සු සුදු ජේසු කෙනෙක්ට ආස එයාලට සුදු ජේසු කෙනෙක්ව පෙන්නපු නිසා. අපි ගොඩක් අය දන්නෙ Colonized වුණු ශුභාරංචියක්. අපි දන්නෙ මිනිස්සුන්ව Colonize කරපු ජේසු කෙනෙක්ව. එහෙම ජේසු කෙනෙක්ට කරන්න පුළුවන් මඟුලක් නෑ" යනුවෙන් ඔහු මුමුණයි.  

මේ දෙදෙනාට මැදිව මේ පාස්කුව මම ගෙවා දැමිය යුතුය. පාස්කුව යනු එතෙරවීම බව දේව ධර්මය පවසයි. 2021 එතෙර වීමට යන්නේ කවුද කියා මා දන්නේ නැත. එහෙත් මෙතෙර දුක් විඳින මිනිසුන් සමඟ එකට සිටගන්නට ක්‍රිස්තියානීන් අපට අවශ්‍යයය. 

ඒ සවිය අප සැමට ලැබේවායි මම පතමි. කුරුසය යනු බලාපොරොත්තුවේ සංකේතයය. ඔබ සැමට බලාපොරොත්තුවේ ආශිර්වාදය ලැබේවා!

Comments