සුබ ගමන් කළුඅම්මා! Adios My Beautiful Second Mother

 අද අළුයම මා දන්නා විශිෂ්ටතම ගැහැණියක් මෙලොව තම ගමන අවසන් කලා ය. ඇය මා දන්නා විශිෂ්ටතම විමුක්ති දේවධර්මවේදිනියකි. ඇය මගේ ලොකු අම්මාය. කළු අම්මාය!!

මගේ ළමා කාලයේ සහ නව යොවුන් වියේ මතකයන් හී විශාල පදාසයක් පුරා විහිදී පැතිරී ඇත්තේ මගේ මවගේ පාර්ශ්වයේ සුන්දර මිනිසුන්ගේ ජීවිතාන්දරයන්ගෙනි. ඒ අතර මගේ කළු අම්මා හෙවත් ස්ටෙලා ක්ලැරිස් ප්රනාන්දු යනු අඩි පහකටත් වඩා උසින් අඩු, සිහින් සහ කුඩා සිරුරක් හිමි, කළු පැහැ සමක් සහ කැරළි ගැසුණු කුඩා කොණ්ඩයක් හිමි ගැහැණියකි. ඇයට උස් කටහඬක් හෝ වාද විවාද කිරීමට උවමනාවක් තිබුණේ නැත. උදෑසන 2ට අවදි වීමේ සිට නොනවත්වා වැඩ කිරීම වැනි නරක පුරුදු ඇයට තිබිණි. එහෙත් ඇය මැසිවිලි නැගුවේ නැත.
තාත්තා මිය ගිය පසු අම්මාට තාත්තාගේ රාජකාරියද කිරීමට සිදු වූ විට කුඩා දරුවන් දෙදෙනෙකු වූ අපව දමා රැකියාවට යෑම හැර අන් විසඳුමක් ඇයට තිබුණේ නැත. නිවසේ සිටි දූවරුන් දෙදෙනාට අමතරව අප දෙදෙනාවද රැක බලා ගැනීමට තරම් විසල් හදවතක් කළු අම්මා සතු විය. දෙල් ගස් යාය පාමුල පිහිටි දැවයෙන් නිමවුණු ඇගේ කුඩා නිවසට ඇයත්, ඇයගේ සැමියාත්, ඔවුන්ගේ දියණියන් දෙදෙනාත් අප දෙදෙනාව පිළිගත්තෝය. නිවසේ රාජකාරි, කඩයප්පන් තැම්බීම සහ දරුවන්ගේ රාජකාරි කරනා අතරතුර මාස නමයක් වූ මගේ සොයුරාව රැක ගැනීමට එකඟ වීම සහ එය සපුරාම ඉටු කිරීමට තරම් මහා කරුණාවක් ඇය සතු විය. දෙල් ගහේ තොටිල්ලක් ගැට ගසා මගේ සොයුරාව එහි දමා දුවමින් වැඩෙහි යෙදුණු ඒ ගැහැණිය පිළිබඳ චිත්රයක් මගේ මනසේ ඉතා පැහැදිළිව ඇඳී ඇත.
ඇයට අන් සියල්ලෝ "ස්ටෙලා මම්මා" යනුවෙන් ආමන්ත්රණය කරනා විට, මට උවමනා නම් වලින් මගේ මිනිසුන් ඇමතීමේ විකාර සහගත පුරුද්දක් තිබූ දැරියක වූ මා, ඇයට කළු අම්මා යැයි පැවසීම ඇරඹුවෙමි. කළු යනු අපහාසාත්මක පදයක් නොවන බව මට දැනුනේ ඇය ඒ ආමන්ත්රණයට ආදරය කෙරූ තරම නිසාවෙනි. දුඹුරු පැහැ සමක් සහිත එක ලොකු අම්මෙකුට සුදු අම්මා කීම ද, කළු අම්මාට වඩා මදක් පැහැපත් එක ලොකු මාමෙකුට සුදු මාමා යනුවෙන් ඇමතීමද වැනි එකකට එකක් නොගැළපෙන ආමන්ත්රණ හමුවේ මගේ බැඳීම් විසිරී පැවතිණි.
"ස්ටෙලා සෙට් වෙලා " කියා වෙළඳ දැන්වීමක් දුටු පසු මමත්, මල්ලීත් " හේ ස්ටෙලා සෙට් වෙමුද ඩලා" වැනි දෑ ඇයට පවසන විට ඇය සතුව තිබූ අහිංසක සිනහවෙන් ඇය අපට ප්රතිචාර දැක්වූවාය.
ලෝකයේ රසම කෑම සැකසූයේ අපේ ස්ටෙලාය. ස්ටෙලා කිසි දිනක තනියෙන් ආහාර පිළියෙල කලේ නැත. ඇගේ සැමියා හෙවත් අපේ දයාබර "රෝසි මාමා" ( අප විසින් දමන ලද නම්) ඇය සමඟ එකම කණ්ඩායමක් ලෙසට මේ ආහාර පිළියෙල කිරීමේ රාජකාරියේ නියැළුණේය. ඇගේ ඌරු මස්, බැඳපු කුකුල් මස් ව්යංජනය, බටු මෝජුව, කට්ලට්, නත්තල් පොල් කේක්, බලෙන් ගිල්ලවන්නට සැකසූ වැටකොළු ව්යංජනය මේ සියල්ලෙහි රස මතක මා සතුව ඇත. පවුලේ කිසිදු සාදයක ඇගේ සහභාගීත්වය නැතිව එක වේලක් හෝ පිළියෙල වී නැත. ඇගේ නිවසට ගොඩ වැදුණු කිසිදු දරුවෙකුට අවම වශයෙන් ඉඟුරු ප්ලේන්ටියක් හෝ සකසා දී පිටත් කිරීමට ඇය වග බලාගත්තාය. අප ඇගේ නිවසට යන විට සාලයේ බිම වාඩි වී හිනැහෙමින් බලා හිඳින්නට පුරුදුව සිටියා ය. මේ මතකයන් සියල්ල එකින් එක දැන් ගලා එනයුරු මට දැනේ.
අපේ ස්ටෙලා ඉරුදින දිව්ය පුජාවට කෙසේ හෝ සහභාගී විය. මගේ පමණට වඩා වැඩි ප්රශ්න කිරීම් හෝ තර්ක කිරීම් පිළිබඳව ඇයට කිසි ගැටළුවක් තිබුණේ නැත. ඇයට ඒවා ඇසුණා ද කියා හෝ මම නොදනිමි. ඇගේ සරල ක්රිස්තියානි විශ්වාසය මගේ තර්කන හැකියාවට වඩා විශාල විය. එහි නිවීමත්, අනෙකාට නිවෙන්නට ඉඩ හැරීමත් තිබිණි. මම ස්නාවක ජුවාම් මෙන් දේවධර්මය ප්රශ්න කරනා විට, ඇය ගලීලයෙන් ආ තරුණයා මෙන් "ආවේගයට වඩා ප්රේමය" පිළිබඳව මෙනෙහි කරන්නට ඇති බව මම සිතමි. දැන් මම එය දනිමි.
නොකඩවා වැඩ කිරීමේ වෙහෙස ඇගේ දෙනෙත් තුළ සෑම දිනකම පිළිඹිඹු විය. ඒ අපේ පන්තියේ, එනම් පහළ මධ්යම පන්තියේ යශෝධරාවන්ගේ, කඩයප්පම් සාදන මරියාවන්ගේ වෙහෙසේ දෙනෙතයි.
ඇය කිසි දිනෙක මා ලියන්නේ මොනවාද කියා දැන සිටියේ නැත. මා කරන්නේ මොනවාද කියා හෝ දැන සිටියේ නැත. මගේ පළමු උපාධිය මා ගත්තේ කුමන විෂය පථයකින්ද කියා හෝ ඇයට මතකයක් හෝ අවබෝධයක් තිබුණේ නැති බව මම දනිමි. එහෙත් ඇගේ ඇස් ඉදිරියේ මා සෑම දිනකම " අපේ අනෝමගෙ කෙල්ල, අපේ ෂෙනා" විය. ඇගේ ෂෙනා ඇයට විශිෂ්ට කෙල්ලකු විය. ඇයට මා විශිෂ්ට කෙල්ලකු වූයේ කුමන හේතු මතද කියා දන්නේද ඇයම පමණි. මා පමණක් නොව පවුලේ සෑම දරුවෙකුටම එකම හැන්දෙන් ඇය ආදරයත්, ගෞරවයත් බෙදා දුන්නාය. අපේ උගත්කම් හෝ රැකියාව ඇයට අදාළ වුයේ නැත. අප පිළිබඳව ආඩම්බරවන්නට ඇයට ඒ කාරණා අදාළ වූයේ නැත. ඒ අපේ ස්ටෙලාය... ලෝකයේ රසම කට්ලට් හදනා අපේ ස්ටෙලාය.
මීට පැය එකහාමාරකට පෙර, අද අළුයම ඇය අප අතහැර ගිය පණිවුඩය මා ලැබුවෙමි. හඬා වැටීමත්, ඇය වැනි විශිෂ්ට ගැහැණියක් පිළිබඳව මගේ මතකයන් තැන් තැන්වල ලිවීමත් හැරුණු කොට වෙන කරන්නට යමක් මා දන්නේ නැත. මේ මොහොතේ මා සමඟ වේදනාව බෙදාගන්නා මිනිසුන් මැදට වී මම ඇගේ මතකයන් පෙළ ගස්වමින් හිඳිමී. ඇයගේ මතකයට වර්ණයක් දෙන්නට යැයි කිවහොත් මා ඇය දෙල් ගහේ පාට යැයි කියමි. කොළ සහ දුඹුරු වල මිශ්රණයක් ලෙසට ඇය මගේ මතකයේ පවතිනු ඇත.
මා මෙළොව පවතින තාක් ඇයද පවතිනු ඇත.
මා තුළ මිනිසුන් මගේ අම්මාව දකින බව පවසන විට මම ආඩම්බර වෙමි. මගේ අම්මා තුළ, මා මගේ කළු අම්මාව දැක තිබේ. කාර්ඩ් ක්රිඩා කිරීම දෙවියන් ඉදිරියේ හොඳ නැති යමක් බව සිතමින් කුතුහලයෙන් ඇය දෙස බැලූ කුඩා ගැහැණු දරුවෙකුට, පවුල හා සමඟ එකට අසුන් ගෙන, කෝපි, ඉඟුරු තේ පානය කරමින්, හිනැහෙමින්, කෑ ගසමින් ක්රීඩා කිරීමේ දේව ප්රේමයේ සහ සන්තෝෂයේ පණිවුඩය කියා දුන් මුරණ්ඩුකාර ගැහැණිය ඇය ය. තමන් සතු ස්වල්පය පවා බෙදාගැනීම එතරම් අසීරු නොවන බව කියා දුන් අපෝස්තුළුවරිය ඇයය. වෙහෙස වී වැඩ කිරීමේ සහ ඉපැයීමේ ගෞරවය පිළිබඳව අපට කියා දුන් කම්කරු ගැහැණිය ඇයය.
ලොව පුරා මිනිසුන් අද ජාත්යන්තර කම්කරු දිනයද, කිතුණුවන් ශුද්ධවූ ජුසේ මුනිඳුන්ගේ දිනයද සමරනු ලබයි. මින් ඉදිරියට මෙය අපේ ස්ටෙලාගේද දිනයයි. වෙහෙස වී වැඩ කොට ඉපැයීමේ ගෞරවයත්, අප අතර ඉතාම දුප්පත් තැනැත්තාට පවා තමන් සතු යමක් බෙදාගැනීම දේව කාර්යයට උර දිය හැකි බව මට කියා දුන් අපේ ස්ටෙලාගේ දිනයයි!
ස්ටෙලා, මා දයාබර ටෙලා, ආයෙ මුණගැහී සෙට් වෙන තෙක්, සුවෙන්, නිදහසින්, හිනැහෙමින් බලා ඉන්න ඩලා!
ෂෙනා. ඔයාගෙ/ ඔයාලගෙ ෂෙනා!
1/5/2021



Comments