ගස් අතරින් පෙරිළා එන ඉර එළිය!

 මේ සටහන ලියද්දි වෙලාව රෑ 9.15යි. ජනේල වහන්න හිතාගෙන ජනේලෙ ළඟට යද්දි අහම්බෙන් දැක්කා අපේ අසල්වැසියො කිහිපදෙනෙක් එයාලගෙ ටීවී කාමරේට වෙලා ගිටාර් එකක් වාදනය කරමින් සින්දු කියනවා. මට ඇහෙන්නෙ නෑ ඒත් අනුමාන කරා. ඒ දිහා බලාගෙන ඉඳලා ජනේලෙ වහන්න යද්දි අහම්බෙන් දැක්ක දර්ශනයක් නිසා ලෝකය තත්පර ගණනාවකට නතර වුණා වගේ දැනුණා. වෙලාව රාත්රී නමයයි පහළව වුණාට තවමත් ඉර එළිය තියෙනවා. ඉර යන්තමින් බැහැගෙන යන්න පටන් අරගෙන තියෙන්නෙ. ඒ අතරෙ අපේ අසල්වැසියන්ගෙ වතුයායේ තියෙන ගස් අතර උසින් ඉතාම වැඩි, මගේ ප්රියතම ගස් යාය උඩට ඉර එළිය වැටිලා. ඉර එළිය ගස් අතරින් පෙරිලා එන දර්ශනය හරිම ලස්සන එකක් බව මිනිස්සු ලියනවා මම දැකලා තියෙනවා. ලංකාවෙදි ඒ දර්ශනය මම දැකලා තියෙනවා. බැංගලෝරයේ කලබලකාරී වීදී අතරත් මම ඒක දැකලා තියෙනවා තත්පර කිහිපයකට. මෙල්බර්න් වලදි මොනෑෂ් විශ්වවිද්යාලයේ කළමණාකරණ පීඨයේ එළියෙ තියෙන බංකුවක ඉඳගෙන, මගේ මිත්රයෙක් එනකන් බලාගෙන හිටපු මොහොතකත් මම ඒ දර්ශනය දැකලා තියෙනවා. අයියයි අක්කයි එක්ක මෙල්බර්න් වල වයිනරි එකකට ගිහින්, මිදි යාය ඉස්සරහ තියෙන බංකුවක වාඩිවෙලා ඉර එළිය මිදි යායට වැටෙන හැටි දැක්ක මොහොතත් මට කවමදාකවත් අමතක වෙන එකක් නැහැ. ඒත් මේ දැන් දකින දර්ශනය, ඒක වෙනස්. ඒක අමුතුයි. මට එහෙම හිතෙනවා.

කළින් ලිව්ව හැම දර්ශනයක්ම දැක්ක ගෑණු ළමයට වඩා අද ඉන්න කෙනා තමන්ගෙ කාමරේ ජනේලෙන්, මේ ගස් උඩට වැටිලා පෙරිළා රත්තරන් පාටින් වැක්කෙරෙන ඉර එළියෙ දර්ශනය දකින්නෙ වෙනස් විදිහකට. මගේ කාමරේ පහළින් තියෙන්නෙ ඉතාම ප්රවේශමෙන් සකස් කරපු උද්යානයක කොටසක්. ඒකට මගේ දායකත්වය බිංදුවයි. ඒත් ඒකෙ අලංකාරය අග්රගණ්යයි. ඉන් එහා තියෙන්නෙ අපි බයිසිකල් පදින, අපේ පාර. ඒකට අපි අපේ පාර කියන්නෙ ඒක ඇත්තටම අපේ නිසයි. ඉන් එහා තියෙන්නෙ තාප්පෙ සහ තාප්පෙ වහගෙන පැතිරුණු ගස් ගොල්ලක්. ඒකෙ හරි නම් ගස්ගොල්ලද කියන්න මම දන්නෙ නෑ. මම කියන්නෙ ඒ නම. ඉංග්රිසියෙන්නම් ඔක්කොටම Trees and Bushes කියලා බේරෙනවා මිසක් ඕවයෙ විශේෂිත නම් හොයන්න මතක් වෙලාම නැහැ මට. කොහොම හරි, මේ ගස්ගොල්ල පුරාම දම්පාට මල් වැවෙනවා. සීත කාලෙන් පස්සෙ හැම උදේකම නැගිටලා හිමිහිට ඇවිදන් ජනේලෙ ළඟට ගිහින් ඒ මල් දිහා බැලුවා කියලා කියන්න මම කැමතියි. ඒත් එහෙම ලියන්න බැහැ.
පහුඟිය අවුරුද්ද පුරා සමහර දාට මම නිදාගත්තේ පාන්දර 4ට. සමහර දාට මම හවස හතටත් නිදාගත්තා. අපේ උදේ කෑම කන්න පුළුවන් උදේ 10.30 වෙනකන්. සමහර දාට උදේ 6.00ට කිචන් එක ඕපන් කරාම උදේට කාලා මම නිදාගත්තා. සමහර දාට උදේ 10.15ට නැගිටලා ඇඳුම් මාරුකරන්න වෙලා නැති නිසාත්, මගේ පිජාමාවල තියෙන විසුළුසහගත තත්වය මත අන්තර්ජාතිකව ලැජ්ජ වෙන්න තියෙන අකමැත්ත නිසාත්, සුපර්මොඩල් කෙනෙක් වගේ ලොකු දිග කෝට් එකක් පිජාමා එකට උඩින් දාගෙන කුස්සියට දුවපු/ දුවන දවස් ගණන එන්න එන්නම වැඩි වෙනවා. ඉතින් එහෙම අවදි වීමේ ක්රමයක් තියෙන මට උදේ නැගිටලා කෝපි එකක් අරන් ජනේලෙ ළඟට වෙලා දම්පාට මල් දිහා බලාගෙන හිටියා කියලා ලියන්න ආස වුණාට ලියන්න බැහැ. මම මේ මල් දකින්නෙ අහම්බෙන්. උවමනාවෙන් නෙමෙයි. සමහරවෙලාවට පාඩම් කරමින් ඉන්න අතරතුර අවධානය වේගයෙන් බිඳෙන බව තේරුණාම ජැකට් එකක් දාගෙන අපේ බයිසිකල් නවත්තලා තියෙන තැනට ඇවිත් අනුන්ගෙ සයිකලයක් අරන් මගේ වගේ පැදගෙන යද්දි හෝ අයිතිකාරයා "බයිසිකලේ කැඩුවත් කමක්නැහැ දෙයියන්ගෙ නාමෙන් අතපය කඩාගන්නෙපා" කියලා කෑ ගහද්දි මම මේ මල් දකිනවා. එතකොට මට මතක් වෙනවා "අයියෝ තාම නිදහසේ කාමරේට වෙලා මේ මල් ටික බැලුවෙ නෑ නේද" කියලා. බයිසිකල් සවාරි ඉවර කරලා ආයේ අපේ පුස්තකාලෙට රිංගුවම මල් අමතක වෙනවා. ඒත් ඒ මල් ලස්සනයි.
ආයේ කතාවට. අපේ තාප්පෙන් එහා පැත්තෙ තියෙන්නෙ අපි වගේම විශ්වවිද්යාලය ශිෂ්ය ශිෂ්යාවන්ගෙ නිවහනක්. ඒක අපිටත් වඩා ෆැන්සි කියන එකයි අපේ අනුමානය. මොකද ඒකේ ඉන්න එවුන්ගෙ පොදු කාමරේ ඕන වෙලාවක කොල්ලො කෙල්ලො වීඩියෝ ගේම්ස් ගහනවා අපිට පේනවා. BBQ සාද එහෙමත් තියෙනවා. අනික කාමර වල ප්රමාණෙ ලොකුයි. ඒ වුණාට අපි සැලෙනවද? නැහැ. අපි සැලෙන්නෙ නැහැ. එයාලා අපිව දැක්කෙ නැහැ වගේ ඉන්නවා. අපි එයාලව දැක්කෙ නැහැ වගේ ඉන්නවා. අපිත් ඉතින් වීඩියෝ ගේම්ස් ගහනවා. මාරියෝ කාර්ට් වගේ ඒවා. මට ඒකේ වාර්තාවක් තියෙනවා. නොකඩවා 13 වතාවක් අන්තිමයා වීමේ වාර්තාවක්. මගේ යාළුවො කවදහරි මේවා ලියයිද කියලා මම දන්නෙ නෑ. ඒත් උන්ට මාව ලැජ්ජ කරන්න මම ඉඩ තියන්නෙ නෑ කියලා මමම කියලා තියෙන නිසා, මමම මේවා ලියනවා. ( සැලෙනවද? නැහ්!). අපිත් සින්දු කියනවා. හිටපු ගමන් නටනවා. ඒ නැටුම් ගැන වෙනම ලියන්න ඕනේ. ඒ තරමට ඒ නැටුම් අපූරුයි. රටවල් 20ක කට්ටිය එකතු වෙලා එක එක රටවල් වල නැටුම් වර්ග එකට මිශ්ර කරන් නටන එක තරම් මැලේ අච්චාරුවක් මම තාම දැකලා නැහැ. නටනවා. හිනාවෙනවා. නටනවා. හිනාවෙනවා. නටනවා!
ආයේ කතාවට. කොහොම හරි එකක් අවධාරණයෙන් කියන්න ඕනේ. අසල්වැසියන්ගෙ හොස්ටල් එක ෆැන්සි වගේ තමා. පොඩි හොග්වාර්ට්ස් වයිබ් එකක් තියෙනවා එයාලගෙ ගොඩනැගිලි වල එහෙමත්. ඒත් අපි තරම් ජොලිබට්ටො නැහැ මෙහෙ අහල කවුන්ටි හතක.
මේ සටහන ලියන්න ගත්තේ ඇයි කියලා මම දන්නෙ නැහැ. මගේ ජීවිතයට ඉතාම තදින් බද්ධ වුණු පොත් අතර අංක එක තමයි බ්රීඩා. මගේ පර්යේෂණ නිබන්ධනය බාර දීලා ලංකාවට ගිහින්, විවේක ගන්න ලැබුණු මුල්ම වෙලාවෙ මම කරන දේ තමයි විම්මා හෝ අම්මා හදපු කිරිකෝපි එකක් බොන ගමන් බ්රීඩා කියවන එක. ඉස්සර කවි, කතා, නෝට්ස් ඕනම දෙයක් ලියද්දි කෝපි කෝප්පයක් කොහෙන් හරි අමුණන්න මට ඕන වුණා. මගෙන් අද කවුරු හරි ඇහුවොත්, දැන් අවුරුදු 26දි ත්, කතාවලට කෝපි අරන් එනවද කියලා, මට කියන්න වෙන්නෙ ඔව් කියලා විතරයි. ලංකාවෙන් පිට ගිය හැම වතාවකම මම නොකඩවා රස බලපු දේවල් දෙකක් තියෙනවා. එකක් Hot Chocolate. අනිත් එක කෝපි. මේ අවුරුද්දෙ මම ආමන්ඩ් මිල්ක්, ඕට්ස් මිල්ක් එහෙමත් කෝපි එකට එකතු කරලා බොන්න පටන් ගත්තා. ( සල්ලි තියෙන නිසා නෙමෙයි, ඒවා ලාබයි මෙහෙ). ඒ මොන ක්රමයෙන් බිව්වත්, කෝපි කියන්නෙ මහ පුදුම බීමක් කියලයි මට හිතෙන්නෙ.
ලතින් ඇමරිකානු සහ අරාබි යාළුවො ඉන්න එකේ එක වටිනාකමක් තමයි ලෝකයේ විශිෂ්ටතම කෝපි රස විඳින්න ලැබෙන එක. මගේ ළඟම මිතුරියන් දෙදෙනාම කෝපි, කෝපි විදිහටම රස විඳින අය. ඒ දෙන්නා කෝපි බොනවා බලන් ඉන්න එක ක්ලාසි වැඩක් කියලා මට හිතෙනවා. කඩිමුඩියක් නැතුව කෝපි එක නිවෙන්න හරිමින්, අපේ උද්යාන බංකුවකට වෙලා උදේ කෑම කන ගමන් උගුර උගුර උන් දෙන්නා කෝපි බොන දර්ශනය දවසක ස්ක්රිප්ට් එකකට ලියලා ෆිල්ම් එකකට ගන්න වටිනවා. ( දවසක ෆිල්ම් එකක් ලියන්න වගේ විකාර හීන ඔළුවෙ තියෙන නිසා ලියවෙන දේවල් මේ).
පාවුලෝට 'බ්රීඩා' ලියන්න පදනම වැටුණෙ කොහෙන්ද කියලා එයාගෙන්ම අහන්න ආසයි මට. පාවුලෝ එක්ක කෝපි එකක් බොන්නත් ආසාවක් තියෙනවා. මගේ බ්රසීල ජාතික මිතුරගෙන් ඒ ගැන ඇහුවම, මගේ වකුගඩුව විකුණගන්න ඌට ඉඩදෙනවනම්, චාන්ස් එකක් අරන් දෙන්නම් කියනවා මම එහෙ ආපු වෙලාවක. ඒ නිසා මිනිහව අත ඇරලා මගේම ක්රමේකට ඒක හොයාගන්න වෙනවා.
ආයේ කතාවට. රත්තරන් පාට ඉර එළිය ගස් අස්සෙන් පෙරිළා එනවා දැකලයි මේක ලියන්න හිතුවෙ. දැන් රෑ නමයයි පනස් හතරයි වෙලාව. 2016 ඔක්තෝම්බරයෙ, බැංගලෝරයේ වීදී අතර ඇවිදමින් හිටපු ගෑණු ළමයගෙත්, 2019 දෙසැම්බරයෙ මෙල්බර්න් වල ඇවිදපු ගෑණු ළමයගෙත්, දැන් ඉන්න ෂෙනාලිගෙත් වෙනස කවුරු හරි ඇහුවොත් ඒකට දෙන උත්තරේ මම කල්පනා කරනවා. ඒක හරියටම මම දන්නෙ නැහැ. ඒත් ඒ හැමතැනම හිටපු සහ අද මෙතන ඉන්න කෙනාගෙ සමානකම් මම දන්නවා. එයා බලන් ඉන්නවා ගෙදර යන්න. එයාට ගෙදර කියලා කියන්නෙ මිනිස්සු කිහිපදෙනෙක්ට. නැහැ, මිනිස්සු විශාල ප්රමාණෙකට. ලෝකයේ සුවපහසුම, ආරක්ෂාකාරීම, සුවදායකම මොන නිර්ණායක තියෙන රටක එයා හිටියත්, එයා ඒ හැම තැනදිම බලන් හිටියා ගෙදර යන්න. එයා එනකන් බලාගෙන ඉන්න මිනිස්සු ටික දෙනෙක් ඉන්න බව එයා දැනගෙන හිටියා. එයාව වැළඳගන්න බලාගෙන ඉන්න කිහිපදෙනෙක් ඉන්න බව එයා දැනන් හිටියා. ලෝකේ කොහේදි ගහක් උඩට වැටුණත්, රත්තරන් පාටට පෙරිළා වැක්කෙරෙන ඉර එළිය වගේ, තමන් ආපහු එනකන් බලන් ඉන්න ස්වල්පයක් වෙච්ච ජීවිත ටිකක් තමන්ට බද්ධ වෙලා තියෙන බව ලෝකේ මොන කොණේ හිටියත් එයා දැනගෙන හිටියා.
මම ආයෙත් බ්රීඩා කියවන්නෙ ලංකාවට ආවමයි. මම හුඟාක් ජාතිවල කෝපි දැන් වෙද්දි බීලා තියෙනවා. ඒත් මම මගේ යාළුවොන්ට කියනවා "අපේ අම්මා වැස්ස දවස්වලට ලාබ හරිස්චන්ද්ර පැකට් එකෙන් හදන කිරිකෝපි එකයි, මම කෑම නොකා ඉද්දි විම්මා හදලා දෙන කිරි කෝපි එකයි, විම්මගෙ අම්මා හදන වැනිලා මික්ස් කරපු කිරිකෝපි එකයි නොබී වෙන මොන රටෙන් කෝපි බිව්වත් වැඩක් නෑ" කියලා. එයාලා ඒක අහලා හිනාවෙන්නෙ නැහැ. එයාලටත් තියෙනවා එහෙම කෝපි කතාවක්. පැරීසියේ පොඩි අතුරුපාරක අවන්හලක කෝපි එක, කොලොම්බියාවේ පරම්පරාගත නිවසක අත්තම්මගෙන් හැදෙන කෝපි එක, බෙත්ලෙහෙමෙ ගෙදරක හැදෙන උදේ කෝපි එක, කැලිෆෝනියාවේ ගෙදරක තාත්තා හදන කෝපි එක, නයිජීරියාවේ ගෙදරක තමන්ගෙ ලොකු අයියා හදලා පයින් ගහලා ඇහැරවලා බොන්න දෙන කෝපි එක මේ වගේ කෝපි කතා අපි හැමෝටම තියෙනවා. ලෝකේ කොහේට වැටුණත් එකම විදිහට පෙරිළා එන ඉර එළිය වගේ, බලාපොරොත්තුවෙන් සහ ප්රේමයෙන් අපි එකිනෙකාව අල්ලන් මේ කාලය ගෙවාගන්නවා. තව අවුරුදු කිහිපයකින් වීඩියෝ කෝල් එකකින් එකිනෙකාව දකිද්දි අපේ ගෙවල්වල, අපේ මිනිස්සු මැද ඉඳගෙන, කෝපි කෝප්පෙ උස්සලා චියර්ස් කියන දවසක් අපිට එන බව විශ්වාසයෙන් අපි එකිනෙකාව දරාගන්නවා. ආයේ වටේකින් කැරකිලා මම ලෝකේ මොන රටට ආවත්, ඒ රටක මගේ කියලා කියන්න පුළුවන් එක යාළුවෙක් හරි ඉන්න බව දැනෙන හැඟීමක් අපිට තියෙනවා. මම ප්රංශෙට ගියත්, පලස්තීනෙට ගියත්, කොලොම්බියාවට, බ්රසීලෙට, මෙක්සිකෝවට, නයිජීරියාවට, රුවන්ඩාවට, ඇමරිකාවට, එංගලන්තෙට, මේ කෝකට ගියත්, මං වෙනුවෙන් බලන් ඉන්න කෙනෙක් ඉන්නවා. ලංකාවේ වගේම. ඒ තමා ගස් අතරින් පෙරිළා එන ඉර එළිය.
මම ලංකාවට ආවම, ආයෙත් බ්රීඩා කියවනවා!
මැයි 25, 2021







Comments