රෝයි සහ ලංකාව!


අරුන්දතී රෝයි ගේ වීරත්වයේ ප්රභාවෙන් ලිබරල් ලෝකයක් පිළිබඳව විශ්වාස කරනා මිනිසුන්ගේ ෆේස්බුක් බිත්ති වැසී ගොස් තිබේ. එය සුබවාදී සලකුණකි. ඒ අතර "ලංකාවේ අපට අරුන්දතීලා නෑනේ" කියා යනුවෙන් චෝදනාවක්ද එහා මෙහා පාවෙමින් තිබේ. ලංකාවේ රෝයි කෙනෙකු පිළිබඳව සිහින දකිනා, 'එහෙම අය මෙහෙ නෑ, මෙහෙ ඉන්නෙ බොරු ස්ත්රීවාදිනියො' කියා චෝදනා කරනා උදවිය ප්රිය කරනුයේ තමන් දන්නා ලිබරල් රෝයි ද, නැතහොත් ලිබරේෂනල් හෙවත් විමුක්තිකාමී සටන් පිළිබඳව විශ්වාස කරනා රෝයිද යන ප්රශ්නය ඇසීමේ වාරයද දැන් උදා වී තිබේ. අප ඒ ප්රශ්නය ඇසිය යුත්තේ ඔවුන්ගේ නිවැරදිභාවයන් පරීක්ෂා කිරීමට හෝ මෙය ස්ත්රී-පුරුෂ ගැටළුවක් බවට පත් කරගැනීමට නොව. ලෝකය ඉන් එහා ගිය විමුක්තියේ අපේක්ෂාවක් අප පරම්පරාවේ උරහිස මත තබා ඇති බැවිනි.
අපට වඩා පහසුවෙන් අත්පුඩි ගැසිය හැකි රෝයී තමන්ගේ අසමත් (ෆේල්) අගමැතිවරයාට අස්වීමේ ලිපිය බාර දී ගෙදර ගොස් භාවනා කරන්නට කියා ලියා තබයි. ඉන් නොනැවතී ආණ්ඩුවට තව කළ හැකි දෑ ද ලියා තබයි. අපි ඒ කොටසට වඩා පහසුවෙන් අත්පුඩි ගසන්නෙමු.
ඒ ගැහැණියම ඉන්දීය මාවෝවාදී ගරිල්ලා සටනේ සටන්කරුවන්ට තම සහය පළ කරයි. ගාන්ධි සහ ගාන්ධිගේ අවිහිංසාවේ ප්රතිපත්ති වන්දනා කරන ( විශ්වාස කරන නොවේ) ඉන්දීය මිනිසුන් ඒ පිළිබඳව ඇයව ප්රශ්න කරනා විට, ඇය මෙසේ පිළිතුරු දෙයි.
" සටන් කරන්නෙ නැතුව ඒ අය කොහොමද තමන්ගේ අයිතීන් දිනා ගන්නේ? ගාන්ධි වගේ එයාල ආහාර වර්ජන උපවාස කළාට කවුරුත් ගණන් ගන්නෙ නෑ. අනික ඒගොල්ල කොහොමත් ඉන්නෙ බඩගින්නෙ තමා.’’ ( උපුටාගැනීම: ජනප්රිය ගමගේ)
මේ කොටසට අත්පුඩි ගැසීම බොහෝ අයට අපහසුය. එනිසා ඒ කොටස නොදැක්කා සේ හිඳීම වඩා පහසුය. අරුන්දතී රෝයිගේ මේ අදහස මීට වසර ගණනාවකට ප්රථමයෙන් මහාචාර්ය ඇලෝසියස් පීරිස් ආසියානු විමුක්ති දේවධර්ම සංකල්පයක් ලෙසට ගෙනහැර දක්වයි. එම සංකල්පය හැඳින්වෙන්නෙ Voluntary Poverty and Forced Poverty ලෙසට ය.
එක් කොටසක් දෙවියන් හෝ නිවන් මාර්ගය වෙතට යෑමේ ක්රමයක් ලෙසින් දුගීභාවය තෝරාගන්නා විට, ලෝකයේ බොහෝ තැන්වල දුගීභාවය සහ කුසගින්න හැර වෙනත් තෝරාගැනීමක් නැති මිනිසුන් ඇති බවත්, විශේෂයෙන් ආසියාව පුරා එවන් මිනිසුන් ඇති බවත් ඔහු ලියා තිබේ. එහෙව් මිනිසුන් අප ප්රිය කරනා ක්රමයන්ගෙන් තම විරෝධතාවයන් පළ කරන තෙක් ඔවුන් දෙස සහකම්පනයෙන් බැලීමට අපි කැමැත්තෙමු. ගාන්ධි මෙන් අවිහිංසාවෙන් ඉල්ලිම් කරනා කුඩා කණ්ඩායම් වලට අප කැමතිය. නමුත් ඔබ අමතක නොකළ යුතු කරුණ වන්නේ ඔබේ බිත්තියේ වීරවරිය වන රෝයිගේ අදහස එයට වෙනස් බවය. සමහරවිට ඔබ ඒ පිළිබඳව නොදැන සිටියා විය හැකිය. රෝයිගේ මේ පිළිබඳව අදහස ආගම්, සංස්කෘතිය සහ සමාජ විද්යාවන් යන අංශ පිළිබඳව විද්වත් මහාචාර්යවරියක් වන තියා කූපර් ගේ අදහසට සමපාත වේ. ඇය පවසන්නෙ දුප්පතුන්ව සහ පීඩිතයන්ව, පාලනාධිකාරීන් විසින් ‘ ප්රචණ්ඩත්වය තෝරාගන්නවාද නැතිද යන තැනට නොව ප්රචණ්ඩත්වය තෝරාගන්නේ අදද හෙට ද යන තැනට ඇද දමනු ලබන බව’යි. එනිසා සටන් කිරීමකින් තොරව යුක්තිය අපේක්ශා කිරීමේ ඉඩක් පීඩිතයන් හට අප ඉතිරිකොට නැති බවය.
රෝයි ලංකාවේ සිටියානම්, සිංහල, දෙමළ, මුස්ලිම් ගැටුම්, රාජ්ය තීන්දු, තීරණ, ප්රතිපත්ති, අත් අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, නිහඬ කරවීම් සහ අරමුදල් අතුරුදහන්වීම් යනාදිය හමුවේ මෙන්ම යාළුවාගේ වෙඩිම සමරා ඉන්පසු ඇඳන් 1000ක් සැකසීමේ ව්යාපෘති කරනා දේශපාලන නායකයන් අරඹයා කුමන ආකාරයේ ලිපි ලියනු ඇතිදැයි ඔබ සිතන්නේද?
චමින්ද/මිලින්ද/ආනන්ද/නාලන්ද/මහින්ද/සුසන්ත/වසන්ත/අනුරුද්ධ/සචිත්රා/පවිත්රා/, යනාදී වශයෙන් අමතා, “මේක දැන් අත ඇරලා ගෙදර යන්න” යනුවෙන් ඇය ලියනු ඇතිද කියා මම කල්පනා කරමින් හිඳිමි. එසේ නැතහොත් “ මොනාද අයිසෙ මේ කෙළින පිස්සු?” කියා අසනු ඇති දැයි මම සිතමි.
නිළ ඇදුමක් දුටු පමණින් ගැම්ම කියා සිතෙනා ආකාරයට මිනිසුන් පුහුණු කෙරූ රටක තම මුළු සිරුර ආවරණය කරගත් පොලිස් නිළධාරීන් ඉහළින් ආ අණ පරිදි ලංකාවේ කොරෝනා තත්වයට ඍජුව වගකිවයුතු අපරාධකරුවන් කුදලාගෙනු යන ඡායාරූප අද මේ අවකාශයට එකතු වී තිබිණි. අණ ආවේ කොතනින්ද, ඒ මහා ක්රියාන්විතය පිළිබඳව වෛද්යවරුන්ගේ අදහස් මොනවාද යනාදිය ගැන සවිස්තරාත්මක වාර්ථාවක් තවම අපට (මහජනයාට) ලැබී නැත. එහෙම ලියන්නේ ගැම්මටය. එසේ නැතිව රටේ සිදුවෙන සියල්ල පිළිබ්ඳව අපට මීට පෙර වාර්ථා ලැබුණු පූර්වාදර්ශී ඉතිහාසයක් අපට හිමි නිසා නොවේ ය ( පාස්කු දා ප්රහාරයේ සිට ආපස්සට සහ ඉදිරියට බැලීමෙන් උදාහරණ සොයාගත හැකිය).
කෙසේ හෝ එක් අරුන්දතී කෙනෙකු තවත් අරුන්දතී කෙනෙකුව කුදලාගෙන යෑමේ ඡායාරූපයක් මේ අවකාශයටම එකතු වී ඇත. එය හදවත කීරී ගස්සන ඡායාරූපයකි. ඒ රූපය ඔස්සේ දිගින් දිගටම සිතීමට මම කැමැත්තෙමි. ඒ රූපය මෙතෙක් මා ඉගෙන ගත් සියල්ල එක මොහොතකට කැටී කෙරූ රූපයක් බවට මගේ මොළය මට ඉඟි කරයි. රෝයි මේ රූපය දුටුවා නම් කුමක් ලියනු ඇතිද කියා මම සිතමි. එවිට ඇය මෙසේ ලියනු ඇති බව මගේ ඉතා කුඩා මොළය මට පවසයි....
“තිස්ස සහ කාවන්තිස්ස,
ගත යුතු තීරණ සිය ගණනක් තිබිය දී, ඒ සියල්ල නොසලකා හරිමින් හිඳ, ඔබට ගැති වෛද්යවරුන්ව මානසික රෝගියෙකුගේ පැණියක් වෙනුවෙන් පෙනී හිඳින තැනට තල්ලු කර දමන තැනට තෙක් වැඩ සලස්වා, නිරන්තරයෙන් කමිටු පත්කරමින්, සුදුසුකම් ලත් වෛද්යවරුන්ව ගෙදර යවමින්, ඔබලාගේ දුණු ඊතල පිරිසිදු කරනා වෛද්ය සගයන්ට පත්වීම් දෙමින්, වෛද්යවරු වෙනුවට ජනරාල්වරුන් හට තීන්දු තීරණ ගැනීමට ඉඩ දෙමින්, වෛරසය අරභයා පවා ජාතිවාදයේ කුණු රස විඳීමට ඔබේ පාක්ෂිකයන්ව උද්දීපනය කරමින්, අරමුදල් ගල් කරමින්, ලෝකල් එංගලන්ත නාට්ය නුවර එළියේ රඟ දක්වමින්, අනාදිමත් කාලයක පටන් කලාක් මෙන් නීති නවමින්, නවා හැඩ බලමින්, මේ කෙරූ අපරාධය දැන් මදිද? කලබලේ ගෙදර යා යුතු නැත. ඔබලා ඇරඹූ මේ සෙල්ලමේ අවසන් කොටසත් ක්රීඩා කරන්න. පුත්තු, ලේලිවරු, නෑයන් පමණක් නොව අහළ පහළ උදවියද අඩගසා ගන්න. සියල්ලන් හා සමඟ එක්ව ඔබ ඇරඹූ අවුල ලිහන්න. මිනිසුන් නිකරුණේ මැරෙන්නට ඉඩ නොදී, අදාළ තීරණ ගන්න. උගත්, බුද්ධිමත් මිනිසුන්ගේ හඬට එක් වතාවක් හෝ ඇහුම්කන් දෙන්න. උගත් බුද්ධිමත් යනු ඔබලා දුටු පමණින් තම වෘත්තිය ගරුත් වය පවා අමතකව හොර වෙද්දු සේ හැසිරෙන දඹදෙණිය/ඈපාදෙණිය වැනි මිනිසුන් නොවන බව සිහියට ගන්න. එකම එක වතාවකට, මේ රටේ දුප්පත් මිනිසා ඔබව දකිනා, විශ්වාස කරනා, ආදරණීය, විනයගරුක නායකයන් සේ හැසිරෙන්න. මේ ඊට හොඳම මොහොතය. එක වතාවකට ඔබේ පවුලම වන්දනා කරනා දුප්පත් මිනිහාට ගෞරවයක් ලැබෙන සේ හැසිරෙන්න. ප්රජාතන්ත්රවාදී සිහින දකින්නන් පසෙකින් තබන්න. ඔබ පිළිබඳව අචල විශ්වාසයෙන් සහ භක්තියෙන් සිටිනා ලක්ෂ 69ක් වූ මිනිසුන් අතරින්ද ඔබෙන් කිසිදු වරප්රසාදයක් බලාපොරොත්තු නොවී ඔබට ආදරය සහ ගෞරවය කරනා දුගී මිනිසුන් වෙනුවෙන් මේ මොහොතේ යමක් කරන්න“
රෝයි මෙන් ගැහැණුන් මෙහි ඇතිදැයි අසනා පිරිමි මිතුරනි, ලෝකයත් අරගලයත් ස්ත්රීපුරුෂ කතාන්දරයට වඩා විශාලය. ඒ බව රෝයිගෙන් ඉගෙන ගන්න 🙂
08/05/2021
08/05/2021

Comments

  1. අරුන්දතී රෝයිට තියෙන්නේ කොමියුනිස්ට් හැදියාවක්.
    මටනම් තියෙන්නේ ලිබටේරියන් හැදියාවක්.

    ඒ නිසා මට ඔය ගෑණිව පේන්න බෑ.

    ReplyDelete

Post a Comment